Showing posts with label sri lanka cricket. Show all posts
Showing posts with label sri lanka cricket. Show all posts

Tuesday, August 18, 2009

ඩිල් එක්ස්ප්‍රස්

ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස පලමු වරට ගාල්ලේ දී අද (18-08-2009) පිටියට බට තිලකරත්න ඩිල්ශාන්ට මේ ටෙස්ට් තරඟයක් බව අමතක වී ඇතැයි නරඹන්නන්ට සිතෙන්නට ඇත. සිය 20-20 පිති හරඹ රටාවෙන් නවසීලන්ත පන්දු යවන්නන්ට ගාලු පිටියේ හතර කොනට පහර දුන් ඔහු ශතකයට ලකුණු 8 මෙපිටින් දැවී යන විට 1986-87 තරඟ වාරයේ ඉන්දියාවට එරෙහිව කාන්පූර් වලදී අර්ජුන රණතුංග පන්දු 31 කින් ලබා ගත් ලාංකික පිතිකරුවකුගේ වේගවත්ම අර්ධ ශතක වාර්ථාව තම නමට ලියා ගෙන හමාරය. පන්දු 30 ක දී ලැබූ ඒ අර්ධ ශතකයට තවත් ලකුණු 42 එක්කල ඔහු දැවී යන විට පන්දු 72 කින් ලකුණු 92 ලබා සිටියේය. ගින්නෙන් ජීවත් වෙන්නා ගින්නෙන්ම නසී යන්න සැබෑ කරමින් ඔහුට හිමිවිය යුතුව තිබූ ශතකය අහිමි වූවේ ත් පිට ඉන්නට වැටුන පන්දුවකට වේගවත් පහරක් එල්ල කිරීමට යෑමෙනි.

Sunday, August 16, 2009

නවසීලන්තය සමග ටෙස්ට් තරඟාවලිය සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය


කුමාර් සංගක්කාර (නායක), මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, තිලාන් සමරවීර, අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, රංගන හේරත්, ප්‍රසන්න ජයවර්ධන, මලින්ද වර්ණපුර, නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, තරංග පරණවිතාන, තිලාන් තුෂාර,ධම්මික ප්‍රසාද්

Tuesday, August 11, 2009

පකිස්ථානය සමඟ විස්සයි විස්ස තරඟයෙන් සේරම් ඉවතට

තේරීම් කමිටුවේ තේරුම් ගැනීමට අපහසු තේරීම් ගොන්නට තව එකක් එකතු කරමින් පසුගිය 20-20 ලෝක කුසලාන සංචිතයේ සිටි ඉන්දික ද සේරම් අගෝස්තු 12 පකිස්ථානය සමග පැවැත්වෙන තරඟය සඳහා වූ සංචිතයෙන් හැලී ගොස් ඇත. පසුගිය සංචාරයේ නරඹන්නෙක් පමනක් වූ ඔහු ඊට පෙර පැවති අන්තර් පළාත් 20-20 තරඟාවලියේ දී දැක්වූ දස්කම් මත සංචිතයට සුදුසුකම් ලැබුවේය. දිගින් දිගටම අසාර්ථක වූ සමහර පිතිකරුවන්ට නොවටිනා අවස්ථා ලැබෙද්දී වතුර ඇද්ද සේරම්ට එංගලන්ත සංචාරය නිකම්ම ට්‍රිප් එකක් පමනක් විය. පුහුණු තරඟයක් හැර නිසි අවස්ථාවක් නොලද ඔහු මේ තරඟයෙන් කැපී යන්නේ දස්කම් නොදැක්වූ නිසා විය යුතුය..බංකුව මත සිට ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දක්වන අයුරු දන්නේ අපේ තේරීම් කමිටුවේ මහත්වරුන් පමනි.

Monday, August 3, 2009

මතක පොතෙන්



1985..පළමු ටෙස්ට් තරඟාවලි ජය සමරමින්....
ඉන්දියාව සමඟ පැවති මෙම තරඟාවලියේ දෙවැනි තරඟය ජයගත් ශ්‍රී ලංකාව තම ප්‍රථම ටෙස්ට් ජය හා තරඟාවලි ජය ඉතිහාසයට එක් කරමින් ප්‍රීති වන අයුරු ..
(නායක දුලිප් මෙන්ඩිස්, සිදත් වෙත්තමුනි, රන්ජන් මඩුගල්ල, අසන්ත ඩි මෙල්, අර්ජුන රණතුංග සමඟ රෝයි ඩයස්)
ලකුණු පුවරුව





ලොව සිටි වේගවත්ම පන්දු යවන්නෙක් වූ ජෙෆ් තොම්සන් ....






කොදෙව් පිලේ සුප්‍රකට W තුන්කට්ටුව...
සර් ෆ්‍රරෑන්ක් වොරල්, ක්ලයිඩ් වොල්කොට් සහ එවර්ටන් වීක්ස්



ලොකු උනාට මම බය නෑ....ඩෙනිස් ලිලී සමඟ කළහයක පැටළුණු ජාවෙඩ් මියැන්ඩාඩ්..1981 පර්ත් හි දී..

මඩුගල්ලේ නම් වූ ඔහු

1987 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තෙවැනි නායකයා ලෙස වරම් ලැබූ රන්ජන් සෙනරත් මඩුගල්ලේ සීත කඳුකරයේ අගනුවර වන් මහනුවර දී 1958 අප්‍රේල් 22 වන දින උපත ලැබුවේ සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුතු පවුලේ එකම පුත්‍රයා ලෙසිනි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉගනීම ඇරඹූ රන්ජන් පාසැලේ වයස අවුරුදු 11 න් පහළ හා 13 න් පහළ කණ්ඩායම් වල ක්‍රීඩා කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත තැබුවා.පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් වූ රන්ජන් ගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යන්තම් වයස අවුරුදු 15 ගෙවී යද්දීම පාසැලේ පළමු පෙළ කණ්ඩායමට සුදුසුකම් ලැබුවා.
මුල් යුගයේ පිට දඟ පන්දු යවන්නෙකු ලෙස දස්කම් දැක්වූ රන්ජන් ගේ පන්දු රැකීමත් සැලකිය යුතු මට්ටමක තිබුනා. 1974/75 තරඟවාර යේ තරඟ 12 ක දී කඩුලු 32 ලබා ගත් ඔහු ගේ පිති හරඹ යේ දස්කම් මතු වන්නේ 1975/76 වසර වලදී. තරඟ 14 ක දී ලකුණු 351 ලබාගත් රන්ජන් 76/77 තරඟ වාරයේ දී ඔහුගේ පලමු ශතකය වාර්තා කලේ තරඟ 14 කදී රැස් කල ලකුණු 800 ක් සමඟින්. කඩුලු 33 කින් එම වසර සරසන්නත් ඔහුට හැකි වුනා.
සිවුවන වසර වර්ණලාභියෙකු ලෙස 1977 වසරේ දී රාජකීය කණ්ඩායෙමේ නායකත්වයට පත් වූ රන්ජන් 78/79 වාරයේත් නායකත්වයට පත්වූ යේ දෙවරක් එම වාසනාව ලද දෙවැනි ක්‍රීඩකයා ලෙසින්. ශතක 4 හා අර්ධ ශතක 9 සමඟ 78/79 වසර වල ඔහු ලකුණු 1175 රැස් කරමින් දැක්වූ දස්කම් 1979 වසරේ එංගලන්තය බලා ගිය කණ්ඩායමට එක් වීමේ මාවත විවර කළා. ටෙස්ට් වරම් නොලද රටවල් අතර ප්‍රමුඛම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වූ මේ සංචාරයේ දී රන්ජන්ගේ පන්දු රැකීමේ දස්කම් කැපී පෙනුනා.
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වූ පසු මංගල සංචාරයට මෙහි පැමිනියේ ප්‍රබල එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් හා පැවති පළමු තුන් දින තරඟය පැවැත් වුනේ අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී 1982 වසරේ දී. පළමුව පන්දුවට පහර දී ලකුණු 33ට කඩුලු තුනක් බිඳී අසරණ වූ සභාපති ගේ පිල වෙනුවෙන් රන්ජන් රැස් කල ලකුණු 142 ඔහුගේ සටන්කාමී බවට හොඳ උදාහරනයක්. සරවනමුත්තු පිටියේ පැවති මංගල ටෙස්ට් තරඟයෙන් ටෙස්ට් වරම් දිනා ගත් රන්ජන් පළමු ඉණිමේ රැස්කල ලකුණු 65 ශ්‍රී ලංකා පිතිකරුවකු පළමු ඉණිමේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ඒ තැන් පටන් කණ්ඩායෙම් නිත්‍ය සාමාජිකයෙක් වූ රන්ජන් ගේ තරඟ දිවිය ටෙස්ට් තරඟ 21 ක් හා එක් දින තරඟ 63 කට සීමා වුවත්, පුරෝගාමී ලාංකික ක්‍රීඩකයන් අතර ඔහු නොමැකෙන චරිතයක්. ටෙස්ට් තරඟ දෙකක දී පමනක් නායකත්වය දැරූ රන්ජන් 1988 වසරේ තම අවසන් ටෙස්ට් තරඟයට ක්‍රීඩා කලේත් එංගලන්තය සමගින්මයි..ඒ ලෝඩ්ස් පිටියේ දී.

පසු කාලයේ දී තරඟ තීරකවරයෙක් ලෙස ක්‍රීඩාවට තම දායකත්වය දැක්වූ රන්ජන් 2001 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පලමු ප්‍රධාන තරඟ තීරකවරයා ලෙස පත් වන්නේ ඔහුගේ සැහැල්ලු මහත්මා ගතිගුණත් ක්‍රීඩාවේ ආචාරධර්ම රැකීම පිළිබඳ ඇති නොනැමෙනසුළු ප්‍රතිපත්තිත් නිසා වෙනි.
ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවේ නොමඳ ගෞරවයට ලක් වූ රන්ජන් අභිමානවත් ලංකා පුත්‍රයෙකි..

Sunday, August 2, 2009


"පලා පැහැය ඇතිරුන කඳුගැට අතර හිරු සැඟවෙන්නට ලං වෙද්දී..මිටි පඳුරු වලට මායිම් වූ තණ පිටියේ කෙලවරක සිට දිව අවුත් කිරිකොක් සුදෙන් සැරසුන වංශාධිපතියා අපූරු ඉරියවුවක් මවා අතහැරි පන්දුවට අනෙක් අන්තයේ සිටි ගම්පතියා වක් හැඩති පිත්තකින් එල්ලකල මනරම් පහර, පන්දුව ගෙන ගොස් අසල පිහිටි සිඟිති පොකුණක අත හැරියේ පිටිය කොනක සුරතල් වෙන මනාව සැරසුන කුල අඟනන් ගේ අත්පොලසන් හඬ මැදිනි."

දහසය වැනි ශත වර්ශයේ දිනක එංගලන්තයේ ගම්බද පෙදෙසක මේ බඳු දසුනක් මැවූ ඒ මනරම් ක්‍රීඩාව මහත්වරුන් ගේ ක්‍රීඩාව ලෙස පතලව නෝනා වරුත් අද පිටිය මැදට ගෙන එන ක්‍රිකට් නමින් පතල ව ඇත.
ලොව දහසකුත් එකක් ක්‍රීඩා ඇතත් අප වැනි රසිකයන්ට නම් ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමනක් නොව කලාවකි. අන් කවර ක්‍රීඩාවකටත් වඩා විවිධත්වයෙ න් පිරුන සංකීර්ණ තරඟයෙන් තරඟයට මැවෙන සිතුවමකි.
එවන් අපූරු ක්‍රිකට් ගැන කඩුල්ල මුවා නොකර කතා කරමු බොහෝ දේ...